අප ගැන

ලංකාවේ බොහෝ අංගම්පොර යයි කියා ගන්නා චෞරයින් ගැන විවේචනාත්මක විග්‍රහයන් ඉදිරිපත් කරමින් බ්ලොග් සමූහයක් ඉදිරිපත් කිරීම හා ඒ මගින් අංගම්හොරුන් ගැන සමාජ කතිකාවතක් ගොඩ නැගීමට උත්සාහ ගන්නා අප කවුරුන්දැයි පැහැදිලි කරීම තරමක් උගහටය. කෙසේ වුවද අංගම්හොරු බ්ලොග් සමූහය වනාහි වසර ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික ශිල්පීය පරම්පරා කිහිපයක් පිළිකුලෙන් බලා සිටි අංගම්හොරුන්ගේ ක්‍රියා පටිපාටියන්ට ‍එරෙහිව තැබූ ප්‍රථම පියවරයි. 

අංගම්පොර ගැන කියැවෙන චිත්‍රපට හා නාට්‍ය නිර්මාන දෙස බලා උපහාසාත්මක හිනාවකින් පිටි අපි එහි වරදක් දුටුවේ නැත. හුදු උපහාසයක් පමණි. මන්ද චිත්‍රපටියක සැබෑ අංගම් ශිල්පය තිබෙනවා දකින්නට ද අප අකමැති වීමයි. මන්ද වසර සිය ගණනක් කැලෑ වැදී සිටීමෙන් මෙන්ම නර්තනාංග ලෙස ලොවට පෙන්වමින් මෙය රහසිගතව ප්‍රගුණ කළ අප ඒ මහා ශිල්පය අන්‍යයන් සතුටු කිරීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරනවාට තිබූ අකමැත්තයි. එසේ හිත හදාගෙන සිටි අපට සිදු වූයේ ඊට වඩා ජුගුප්තා සහගත සිද්ධීන් පුවත් පත් හා ‍වෙනත් මාධ්‍ය තුළින් දැක ගන්නට ය. අංගම්පොර සම්මේලනයක තොරතුරු කණ වැකුණු අප පරම්පරාවේ වෘධතර ප්‍රවීණයින් තුළ ඒ පිළිබඳව කතිකාවතක් ගොඩනැගෙන්නට පටන් ගත්තේ ය. පැරණි පරම්පරා කිහිපයක ප්‍රධානීන් විසින් ඉන්පසුව තීරණය කරනු ලැබූයේ මෙම අංගම්පොර කරුවන් යයි කියා ගන්නා පුද්ගලයින් කණ්ඩායම් ගැන අවධානයකින් සිටින ලෙසයි. 

එහි ප්‍රථිපලයක් ලෙස එදා පටන් ඔවුන් විසි පළකරන ලද පුවත් පත් දැන්වීම්, රූපවාහිනී වැඩසටහන් ආදිය හැකි තරම් එක් රැස් කරමින් හා හැකි තරමින් ඔවුන්ගේ සන්දර්ශන ආදිය නරඹමින් හා ඔවුන්ගේ ඉතිහාසය අධ්‍යයනය කරමින් සිටීමට අප කණ්ඩායමට පැවරිණ. අපට විශාල තොරතුරු සමූහයක් ගොණු කර ගැනීමට හැකි වූ අතර එහිදී වැඩි අවධානයක් යොමු වූයේ වැඩි වශයෙන් බේගල් ඇදබාන පුද්ගලයින්ට ය. මෙහි දී තාක්ෂණයට වඩාත්ම සමීප කණ්ඩායමක් තොරා ගත් අප පරිගණක තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව මනාව ඉගෙන ගැනීමෙහිලා ඔවුන්ව යෙදවීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් මෑත කාලීනව අප ප්‍රදේශවල සිදුවූ තාක්ෂණික දියුණුව එයට මනා පිටුවහලක් වූ බව සැබෑය. එසේම ධාරණ ශක්තිය වර්ධනයා කිරීමෙහිලා විශේෂ භාවනා අභ්‍යාස කිහිපයක් ද ප්‍රගුණ කරනු ලැබූ අප කණ්ඩායමට තම තමන්ගේ සාමාන්‍ය ජීවි‍ත සාමාන්‍ය පරිදිම පවත්වාගෙන යාම අභියෝගයක් වූ අවස්ථා නැතිවාම නොවේ. 

එවන් අභියෝග සමූහයක් මැද එක් රැස් කර ගත් කරුණා සමුදාය භාවිතයෙන් බිහිවූ කුළුදුල් නිර්මාණය වූ අංගම්හොරු බ්ලොගය අද වන විට සමාජ කතිකාවතක් ගොඩ නැගීමට හැකි මට්ටමට පත් කර ගැනීමට හැකි වීම අප ලද ජයග්‍රහණයකි. කෙසේ වෙතත් ඒ උත්තරීතර ජයග්‍රහණය තව තවත් ශක්තිමත් කිරීමට අංගම්හොරු බ්ලොග් සමූහය පිළිබඳව වන පාඨක ඇගයීම් අපට මහත් පිටුබලයකි. මේ අතර 
  • ‘‘ඇත්තටම මේ අංගම් ශිල්පීන් තාම ඉන්නවද..?“, 
  • “හැමෝම හොරු ලෙස පෙන්වන ඔබ අංගම්පොර පෙලපතක කෙනෙකු ද?“
  • “මේ පරම්පරාවල් තාම ඉන්නවද කියන එකත් රහසක්නෙ.“
  • “ඔබ විවෘත්තව පැමිණ මෙම ශාස්ත්‍රය ලෝකයට හෙළි නොකිරීම ගැන නම් කණගාටුයි.“
වැනි අදහස් ද වන නමුත් ඒවා ඉතාමත් උපේක්ෂාවෙන් දරා ගැනීම අප කළ යුතු යයි සිතන්නේ එය සාමාන්‍ය (අංගම් ශාස්ත්‍රය නොදන්නා) පුද්ගලයන් ලෙස ගෙන සිතූ කළ සාධාරණ යයි හැඟෙන හෙයිනි. අප මෙහිදී පැහැදිලි කළ යුතු කරුණු  කිහිපයක් ඇත. එනම් 

  1. අංගම් ශාස්ත්‍රය අප කිසිඳු පරම්පරාවක් විසින් පරම්පරාවලින් පිට උගන්වන්නේ නැත.
  2. අප පරම්පරාවන්ගේ අනන්‍යතාව කිසිඳු විටෙකවත් හෙළි කරන්නේ නැත.
  3. අප සතුව අංගම්පොර යයි කියා ගන්නා බොහෝමයක් අය පිළිබඳව තොරතුරු සමුදායක් පවතින අතර අප කණ්ඩායම විසින් පසක් කර ගන්නා ලද නිරවද්‍යතාව පිළිබඳ අවසන් නිගමනයකට පැමිණි තොරතුරු ඇතුලත් කරුණු පමණක් විටින් විට හෙලි කරනු ඇත.
අවසාන වශයෙන් පැහැදිලි කළ යුතු කරුණක් ඇත. එනම් මෙම බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි අප සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් අපහට ප්‍රචාරණයක් ලබා ගැනීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික ශිල්පීන්ට මෙම ශාස්ත්‍රය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු අපගේ විශ්වාසයට අනුව අප හැකිතාක් දුරට අපගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස අපද මෙම හොරුන් ගොඩට ගෙන දමා අපද මෙම විවෘත්ත අංගම් ශාස්ත්‍රීය ඛාදනයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ.